දේශපාලන කතා
එදිනෙදා පක්‍ෂ විපක්ෂ කියන දේ
Translate
Thursday, September 9, 2021
Wednesday, November 18, 2020
සිල් රෙදි නඩුව (අභියාචනාධිකරණ)
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධයක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අත් හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා වලින් නිදොස් කොට මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
2015 ජනාධිපතිවරනය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සදහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් වංක ලෙස සාවදය පරිහරනය කිරීමේ චොදනා සහ සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනා වලට වැරැදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධයක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචන පෙත්සම් ගොනු කර තිබුණා.
මෙම තීන්දුව අද අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී .
කොළඹ මහාධිකරණය විත්තිකරුවන් සම්බන්ධයෙන් ලබා දුන් නියෝගය දෝෂ සහිත බව පවසමින් තමන්ට එරෙහිව ඇති තීන්දුව අත් හිටුවා චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට විත්තිකරුවන් දෙදෙනා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබුවා.
මෙම චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ට වසර තුන බැගින් බරපතළ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරනය නියෝග කර තිබුණා.
සිර දඩුවම් වලට අමතරව විත්තිකරුවන් දෙදෙනාට වෙන වෙනම රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ මුදලක් ගෙවීමට ද මහාධිකරන විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර තිබුණා.
තවද මෙම මුදල් සාවද්‍ය සාපරාධී ලෙසට පරිහරණය කිරීම තුළින් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට සිදු වූ පාඩුව ගෙවීමට විත්තිකරුවන්ට වෙන වෙනම එම කොමිෂන් සභාවට රුපියල් මිලියන 50 බැගින් වන්දි මුදල් ගෙවන ලෙසට ද මහාධිකරනය විත්තිකරුවන්ට නියෝග කළේ.
ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පදවි ප‍්‍රාප්තියට වසරක්
ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පදවි ප‍්‍රාප්තියට වසරක් සපිරි අද දිනයේ ජාතිය අමතමින් ඒ මහතා විසින් සිදු කරන ලද සම්පූර්ණ කතාව මෙසේය.
ආයුබෝවන්,
මීට වසරකට පෙර මේ රටේ 69 ලක්ෂයකට අධික ඡන්ද දායකයන් ඔබේ නව ජනාධිපතිවරයා ලෙස මාව පත්කරගත්තා. මට එදා ඡන්දය ලබා දුන්නේ බහුතරයක් සිංහල ජනතාව බව රහසක් නොවේ. ඔවුන් ඒකරාශී වුනේ බෙදුම්වාදයට, අන්තවාදයට, ත්‍රස්ථවාදයට සහාය දෙන විවිධ දේශීය මෙන්ම විදේශීය බලවේගයන් හා මතවාදයන් හමුවේ, සිංහල ජාතිය, අපේ ආගම, ජාතික සම්පත් හා පාරම්පරික උරුමයන් විනාශ වීමේ තර්ජනයකට ලක්වෙමින් පවතින බවට සාධාරණ බියක් ඔවුන් තුල තිබුන නිසයි.
ජනතාව මගෙන් කල ප්‍රධානතම ඉල්ලීම ‘ රට බේරාදෙන්න ‘ යන්නයි. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර අප මේ කෙටි කාලය තුල ගෙන තිබෙනවා. තවදුරටත් ජනතාව මේ ගැන බිය සැක තබාගත යුතු නැහැ.
මගේ ධුර කාලය තුල ජාති ආගම් භේදයකින් තොරව, සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන, පාලන තන්ත්‍රයක් රට තුල ඇති කරන අතර, මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත්, එදා රුවන්වැලි සෑ පුදබිමේදී ප්‍රතිඥාවට අනුව මම සෑම විටම ක්‍රියා කොට තිබෙනවා.
සෑම මසක ත්‍රෛයි නිකායික ප්‍රධාන පෙලේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශන සභාවක් හමුවී රාජ්‍ය පාලනය පිලිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබා ගන්නා වැඩපිලිවෙලකුත් මම අනුගමනය කරනවා.
මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන්නට පෙර ආගමික අන්තවාදීන්ගේ ත්‍රස්ථවාදී ක්‍රියා නිසා මේ රටේ ජීවිත ගණනාවක් විනාශ වී තිබුනා, පාතාලය බලගතු වී රටපුරා ඝාතන රැල්ලක් ආරම්භ වී තිබුනා, ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගණුදෙනු කරුවන්ගේ තිප්පොලක් බවට පත් වී තිබුනා, බුද්ධි අංශ හා ආරක්ෂක අංශ දුර්වල වීම නිසා රට අනාරක්ෂිත වන තත්වයක් ඇති වෙමින් තිබුනා. පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ඓතිහාසික පුදබිම් පවා අන්තවාදීන් විසින් ආක්‍රමණය කොට තිබුනා.
මා බලයට පත් වූ පසු රටේ ආරක්ෂක අංශවලට සුදුසු නිලධාරීන් පත්කොට ඔවුන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටුකරන්නට බලය ලබා දුන්නා. කඩාවැටී තිබූ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ඒවා යලි පනගන්වන්නට කටයුතු කලා.
ඒ අනුව මොනම ආකාරයේ හෝ අන්තවාදයකට යලි හිස එසවීමට ඇති ඉඩකඩ අපි පාලනය කොට තිබෙනවා. මත් උවදුර පාලනය කිරීම සඳහා ඉතාමත්ම විධිමත් හා සක්‍රීය වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබෙනවා. අතීතයේ කලාක් මෙන් සිර ගෙවල් ඇතුලත සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නට, පාතාලය මෙහෙයවන්නට මින් මතු ඉඩක් නැහැ.
තව දුරටත් මේ රටේ ජනතාව පාතාල කල්ලි වලට, කප්පම් කරුවන්ට, ජාවාරම් කරුවන්ට බියෙන් ජීවත් වන්නට අවශ්‍ය නැහැ. ඉදිරියේදී අපි මේ වැඩපිලිවෙල තවත් ශක්තිමත් කරන්නට කටයුතු කරනවා.
පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරිමටත්, අපේ බෞද්ධ හා ජාතික උරුමයන් රැකගැනීමටත් මම මේ වන විට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.
මේ වන තුරු අප සියලු දේ කලේ මේ රටේ බහුතර ජනතාව විසින් ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අනුමත කරන ලද, ජනතාව විසින්ම ජනතාව උදෙසා සකස් කර ඇති ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති මාලාවට අනුවයි.
රණ විරුවන් පාවාදෙන, ජාතික සම්පත් විකුණන, කෙටි කාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවිසුමක් පිලිගන්නට සූදානම්, විදේශ බලවේගවලට රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට ඉඩදෙන යුගය දැන් අවසන් වී තිබෙනවා. සියලු රටවල් සමග මිත්‍රශීලී සම්බන්ධතා පවත්වන්නට සූදානම්, කිසිදු රටකට ගැති නොවන, බලවත් ජාතීන් අතර ගැටුම්වලට පාර්ශවකරුවෙක් නොවන, අභිමානවත්, ස්වෛරී රටක් ලෙස අපි යලිත් අපේ ස්ථාවරය ලොවට පෙන්වා තිබෙනවා. කලාපීය බලවතුන්ගෙන් මෙන්ම ගෝලීය බලවතුන්ගෙන් අද අපට නිසි ගෞරවය ලැබෙන්නෙ ඒ නිසයි.
ඉතාමත්ම කෙටි කාලයක් තුල මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියේ ආකල්පමය වෙනස් කම් රැසක් කරන්නට අපිට පුලුවන් වී තිබෙනවා. අපි එය පටන් ගත්තේ ජනාධිපතිවරණයෙන්මයි. එදා අපි ප්ලාස්ටික් පොලිතීන් හා පෝස්ටර් වලින් තොර, අපහාස උපහාස හා මඩ ගැසීම වලින් තොර, ප්‍රතිපත්ති මත පදනම් වූ, ආදර්ශමත් ඡන්ද ව්‍යාපාරයක් රටට හඳුන්වාදුන්නා. ඉන් පසු පැවැත්වුන පාර්ලිමේන්තු මැතිවරණයත් මෑත ඉතිහාසයේ ආදර්ශමත්ම මැතිවරණ ව්‍යාපාරයක් ලෙස නම් කරන්නට පුලුවන්. බහුතරයක් අපේක්ෂකයන් පෝස්ටර්, බැනර්, කට්අවුට් ප්‍රදර්ශනයෙන් වැලකී සිටියා, මැතිවරණ නීති කඩකිරීම් ඉතා අවම මට්ටමක පැවතුනා. හිංසන ක්‍රියා, ප්‍රචණ්ඩත්වය හෝ මැතිවරණ දූෂණ ගැන අසන්නටවත් තිබුනේ නැහැ.
මේ වෙනසත් සමග ජනතාවත් තරාතිරම නොතකා හිටපු දේශපාලනඥයින් බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තු වරම් අහිමි කරන්නට කටයුතු කොට තිබෙනවා. කලකට පෙර 225 ම එපා කියන මතවාදයේ සිටි ජනතාවගේ ගෞරවය යලි දිනා ගැනීමේ අවස්ථාව ඒ නිසා නව පාර්ලිමේන්තුවට පත් වී සිටින මහජන නියෝජිතයන්ට ලැබී තිබෙනවා.
බලයට පත් වීමෙන් පසුවත් මා කටයුතු කලේ ජනාධිපති තනතුර වරප්‍රසාදයක් නොව වගකීමක් පමණකි යන ප්‍රතිපත්තියේ සිටයි. ඒ අනුව අනවශ්‍ය වියදම්, නාස්තිය, හා පුහු ආටෝපය මුළුමනින්ම පිටු දකින්නට මම කටයුතු කොට තිබෙනවා.
ගතවූ කාලය තුල අපි කිසිදු ආකාරයකින් අධිකරණයට හෝ පොලීසියට බලපෑම් කලේ නැහැ. පත්වීම්, උසස්වීම් සියල්ල සිදුවුනේ දේශපාලන බලපෑම් වලින් තොරව සුදුසුකම් මතයි.
දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය සඳහා නීතිය අවභාවිතා කිරීමේ ක්‍රමවේදය අපි මුලුමනින්ම ප්‍රතික්ෂේප කලා. නීතියේ ආධිපත්‍යය සැබවින්ම සුරකින හැටි අපි වචනයෙන් නොව ආදර්ශයෙන් පෙන්වූවා.
රජයේ උසස් තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීමට අපි වෘත්තිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කලා. මෙවැනි ප්‍රතිපත්තියක් මීට පෙර කිසිම රජයකින් ක්‍රියාත්මක කොට තිබුනේ නැහැ. තවදුරටත් දේශපාලන බල පුලුවන්කාරකම් මත නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස පත්වන්නට තිබුන ඉඩකඩ ඉන් ඇහිරුනා.
මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන විට මේ රටේ ආර්ථික වර්ධන වේගය පසුගිය වසර 5 ක පාලන කාලය තුල විශාල කඩා වැටීමකට ලක් වී 2.1% වැනි ඉතා දුර්වල මට්ටමක තිබුනා.
2014 වන විට 4.3% ක් දක්වා අඩු වී තිබුන රැකියා වියුක්තිය 2019 වන විට 4.8% දක්වා යලි ඉහල ගොස් තිබුනා.
ඩොලරයට සාපේක්ෂව රුපියල සීඝ්‍රයෙන් කඩාවැටීම නිසා මුල්‍ය ඒකකය අස්ථාවර වී ආර්ථිකය විශාල අවිනිශ්චිත භාවයකට මුහුණ දී තිබුනා.
සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙමින් තිබුනා. විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් වාර්ෂිකව එන ආදායම අඩු වෙමින් තිබුනා.
රටේ ණය බර අතිශයින් ඉහල ගොස් තිබුණා. ජනතාව මත රජය විසින් විශාල බදු බරක් පටවා තිබුනා. ඉහල පොලී අනුපාතයන් නිසා දේශීය ව්‍යාපාරිකයන් විශාල අසීරුතාවන්ට මුහුණ දී සිටියා. මේ තත්වය පාලනය කරන්නට අපි කඩිනම් පියවර රාශියක් ගත්තා.
බදු බර අඩු කොට ජනතාවට සහන දුන්නා. විශේෂයෙන්ම වැටුප්මත උපයන විට ගෙවිය යුතු ඍජු බදු අඩු කලා මෙන්ම පොලී මත පැවති රඳවාගැනීමේ බදු ඉවත්කලා. දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදු සහන රැසක් ලබාදීමට කටයුතු කලා. බදු ක්‍රම සරල කලා. දේශීය නිශ්පාදන වලට අහිතකර තරඟකාරී ආනයනයන් සීමා කලා.
පොලී අනුපාතයන් විශාල වශයෙන් අඩු කිරීම හරහා ණය මුදල් අවශ්‍ය ජනතාවට හා ව්‍යාපාරිකයන්ට සහන ලබා දුන්නා. වසර කිහිපයක් පුරා අඛන්ඩව කඩා වැටෙමින් තිබුන විදේශ විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට කටයුතු කලා
සීඝ්‍රයෙන් ඉහල යමින් තිබුන විදේශ ණය ගැනීම් පාලනය කලා. ඒ වගේම අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානියක් වන්නට ඉඩ නොදී ගෙවන්නට නියමිතව තිබු සියලුම විදේශ ණය වාරික අපි ගෙවා දැමුවා.
පසුගිය රජය විසින් දේශීය සැපයුම්කරුවන්ට නොගෙවා තිබූ හිඟ මුදල් විශාල ප්‍රමානයක් ගෙවන්නට අපි කටයුතු කලා. පොහොර සඳහා රුපියල් බිලියන 24 කුත්, ඖෂධ සඳහා බිලියන 32 කුත්, ඉදිකිරීම් කටයුතු සඳහා බිලියන 119 කුත්, වැඩිහිටි සහනාධාර බිලියන 20 කුත්, විවිධ අමාත්‍යාංශ සඳහා සේවා සැපයීම් කල අයට බිලියන 47 කුත් ගෙවා දැමුවා.
මේ ආකාරයට සමාජයට මුදල් නිදහස් කිරීම, අඩපණවී තිබුන රටේ ආර්ථික ක්‍රියාවලිය යලි සක්‍රීය කිරීමට උපකාර වුනා.
අපේ රටේ ග්‍රාමීය ජනතාවගෙන් බහුතරයක් සම්බන්ධව සිටින කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය යලි නගා සිටුවන්නට කෙටි කලක් තුල අපි විශාල වැඩ කොටසක් කලා.
වී මිලදී ගැනීම සඳහා සහතික මිල රුපියල් 32 සිට රුපියල් 50 දක්වා වැඩිකලා.පොහොර සහනාධාරය නොමිලේ දුන්නා.දේශීය කෘෂි නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ගම්මිරිස් වැනි භෝග ප්‍රති අපනයන තහනම් කල අතර සමහර කෘෂි නිෂ්පාදන ආනයන කිරීම සම්පූර්ණයෙන් නතරකලා. වී, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග, අල, ළුණු නිෂ්පාදනය දිරිමත් වන ලෙස ආනයන බදු කලමණාකරනය කලා. එතනෝල් පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කලා.
රට පුරා පුරන් කුඹුරු යලි අස්වද්දන, තරුණ පරපුර වගාවට ආකර්ෂණය වන, ජනතාව ගෙවතු වගාවලට යොමුවන ආකාරයේ නව ප්‍රබෝධයක් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුල ඇතිකරන්නට අපට පුලුවන් වුනා.
කුමන දුෂ්කරතා මැද්දේ වුනත් අපේ අපනයනයන් කඩා වැටෙන්නට අපි ඉඩ දුන්නේ නැහැ. මේ වන විට අපේ සමස්ථ අපනයන ආදායම මීට පෙර වසරවලට වඩා ඉහල මට්ටමක තිබෙනවා.
අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුල ග්‍රාමීය ජනතාවගේ දිළිදු බවට විසඳුම් සෙවීම ප්‍රමුඛතාවක් වෙනවා. ඒ අනුව කඩිනමින් අවධානය යොමුවිය යුතු ක්ෂේත්‍ර කිහිපයක් අපි හඳුනාගත්තා.
අපේ රටේ අතිශයින්ම දුප්පත් පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනක් දියත් කලා. මේ සෑම රැකියා අවස්ථාවක් හරහාම අතිශයින් දිලිඳු පවුලක අනාගතය ශක්තිමත් කිරීම සඳහා අඩිතාලමක් වැටෙනවා. ඒ අනුව මේ වන විට සුදුසුතම පුද්ගලයන් සොයා රැකියා 35,000 ක් ලබා දී අවසන්. ඉතුරු අයටත් ඉතා කෙටිකලක් තුල රැකියා ලබාදෙනවා.
රටේ ධනය වැයකොට අධ්‍යාපනය ලබාදුන් උපාධිධාරීන් විශාල පිරිසක් කාලාන්තරයක් පුරා රැකියා නැතුව සිටිනවා නම් එය අධ්‍යාපන ක්‍රමයේ වරදක්. විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ වරද ඉදිරියේදී නිවැරදි කරනෙ අතරම, මෙතෙක් රැකියා නැතිව සිටි උපාධිධාරීන් 60 දහසකට රැකියා ලබා දෙන්නටත්, රටට ඵලදායි සේවයක් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්නටත් අපි කටයුතු කලා.
ග්‍රාමීය ජනතාව තුල දිළිදුකම පිටු දැකීමේ තවත් පියවරක් ලෙස සින්නක්කර ඉඩම් අහිමි පවුල් 20,000 කට අක්කරය බැගින් ඉඩම් ලබා දීමට ක්‍රියාකරමින් තිබෙනවා.
සෑම පවුලකටම පානීය ජලය ලබා දීමේ අපේ සැලැස්ම යටතේ දිවයින පුරා 429,000 කට ජල සැපයුම් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු අවසන්වී තිබෙනවා.
මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ මේ වන විටත් කිලෝමීටර් 10,000 ව්‍යාපෘති 3 ක් ආරම්භ වී තිබෙනවා.
පාලම් 10,000 ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ පාලම් 5000 ක පමණ වැඩ අවසන් අදියරට පැමිණ තිබෙනවා.
නාගරික අඩු ආදායම්ලාභීන් හා මධ්‍යම පංතිකයන් වෙනුවෙන් මේ වසර තුල පමණක් නිවාස 20,000 කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ වී තිබෙනවා.
එක ගමකට එක නිවසක් වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය නිවාස 14,000 ක් ඉදි කෙරෙමින් පවතිනවා
වතු නිවාස 4000 ක් ඉදි කිරීමේ වැඩ ආරම්භ කොට තිබෙනවා
රට පුරා පාසැල් 1000 ක් ජාතික මට්ටමට වැඩිදියුණු කරනු ලබනවා.
විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරගන්නා සිසුන් ප්‍රමාණය දැනටමත් 10,000 කින් ඉහල නංවා තිබෙනවා. නිදහසින් පසු එක් වසරක් තුල සරසවි වරම් ලබන සිසුන් ප්‍රමාණය මෙතරම් ඉහල ගිය අන් වසරක් නැහැ. ඉදිරියටත් මේ ආකාරයටම වසරක් පාසා විශ්ව විද්‍යාලවල ධාරිතාව වැඩි කරන්නට සැලසුම් කොට තිබෙනවා.
අපි මේ සියල්ල කලේ සාමාන්‍ය තත්වයන් යටතේ නොවේ. අභියෝග රැසක් මැද්දේයි. ජනාධිපති ධුරයේ වැඩ බාරගත් දා සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු මට වැඩ කරන්නට වුනේ සුළුතර ආණ්ඩුවක් සමගයි. පාර්ලිමේන්තුව තුල බහුතරය තිබුනේ විපක්ෂය සතුව නිසා කිසිදු පනතක් හෝ අයවැයක් සම්මත කර ගැනීමට හැකියාව තිබුනේ නැහැ.
කොවිඩ් වසංගතය ලෝකය පුරා පැතිරෙන්නට පටන් ගත්තේ ජනාධිපතිවරණය අවසන් වී මාසයක් ගත වන්නට පෙරයි. 2020 ජනවාරි මාසයේ චීනයේ වූහාන් නගරය වසා දැමූ විට ඉතා කඩිනමින් තීරණයක් ගෙන එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු ආරක්ෂිතව ලංකාවට ගෙන්වා ගෙන ක්‍රමවත්ව නිරෝධායනය කොට නිවෙස් වලට යැව්වේ ලෝකයේ අනික් රටවලටත් ආදර්ශයක් දෙමිනුයි.
ලංකාව තුල පළමු කොවිඩ් රෝගියා ලෙස වාර්ථා වන විටත් අප විසින් ඉදිරියේ ඇතිවිය හැකි කොවිඩ් රැල්ලක් පාලනය කරන්නට කාර්ය සාධක බලකායක් පිහිටුවා සැලසුම් සකස් කිරීම ආරම්භ කොට තිබුනා. ඒ නිසා අපට ඉතා ඉක්මනින් කොරෝනා පලමු රැල්ල පාලනය කරන්නට පුලුවන් වුනා. කොරෝනා පාලනය කිරිමේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා අගය කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මාස දෙකක් පමණ කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තබන්නට සිදු වූ බවත් මෙහිදී අපි අමතක නොකල යුතුයි.
මේ කාලය තුල ජන ජීවිතයට වූ ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා රජය ක්‍රියා කලා. අත්‍යවශ්‍ය ආහාර ජනතාවට ලබා ගැනීම සඳහා ක්‍රමවේදයන් සකස් කලා. ආදායම අහිමි වූ පවුල් ලක්ෂ 59 ක් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව දෙවරක්ම ලබා දුන්නා. අසීරු කාලය තුල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල අඩුකිරීම සඳහා බදු සහන ලබා දුන්නා.
කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීම, ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීම, PCR පරීක්ෂණ හා සුබසාධන කටයුතු සඳහා මේ වන විට රජය රුපියල් මිලියන 70,000 කට වඩා වියදම් කොට තිබෙනවා.
මා බලයට පත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේයි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුනේ ඉන් මාස 9 කට පසු මේ වසරේ අගෝස්තු මාසයේයි. මේ කාලය තුල මා ක්‍රියාකල ආකාරය ඉතා ඉහලින්ම ජනතාව අනුමත කල නිසා තමයි ඔවුන් අපට පාර්ලිමේන්තු මැතිවරණයේදි 2/3 ක බලයක් ලබා දුන්නේ.
මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි.
අද ලෝකය පුරා කොවිඩ් දෙවන රැල්ලක් පැතිර යනවා. මෙයට බල පා තිබෙන්නේ වඩා වේගයෙන් බෝවෙන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් බව හඳුනාගෙන තිබෙනවා. එය ලෝකයේ සෑම රටකටම අළුත් අභියෝගයක් වුනත් මෙවර අපට කලින් වතාවේ ලද අත්දැකීම් ප්‍රයෝජනයට ගත හැකියි. පරීක්ෂණ ධාරිතාව වැඩිකිරීම, ආසාධිතයන් මෙන්ම ආශ්‍රිතයන් කඩිනමින් හඳුනා ගැනීම, නිවැරදි නිරෝධායන ක්‍රම භාවිතය, අවදානම් සහගත ප්‍රදේශ පමණක් වෙන් කොට අන් ප්‍රදේශ වල සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම වැනි කරුණු වලදී මේ අත්දැකීම් විශේෂයෙන්ම උපකාර වෙනවා.
කලින් වතාවේ මෙන්ම මෙවරත් අපි ක්‍රියාකරන්නේ සැලැස්මක් ඇතුවයි. රෝගය පැතිරීම සාර්ථකව පාලනය කරනවාට අමතරව රෝගය වැලඳුන බවට හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුකල අයගෙන් මරණ සංඛ්‍යාව 0.05 % කට වඩා අඩු අගයක පවත්වාගැනීමට අපේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තිබෙනවා.
ඒ නිසා අපි සියලුදෙනාම සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපදිමින් වගකීමෙන් ක්‍රියාකලහොත් පලමු කොරෝනා රැල්ලට සාර්ථකව මුහුන දුන්නාක් මෙන් ඉදිරි කාලයේදී මේ අළුත් තත්වයත් අපට පාලනය කර ගන්නට පුලුවන්.
රටේ සංවර්ධනයට ඍජුවම දායක විය හැකි ක්ෂේත්‍ර රැසක් හඳුනාගෙන ඒවාට වග කියන රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමටත්, ඔවුන් වෙත අදාල විෂයයන් සහ කාර්යයන් පවරාදීමටත් කටයුතු කර තිබෙනවා. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තම අමාත්‍යාංශයන්ට ඍජුව ලබාදීමට කටයුතු කර තිබෙන නිසාත් මුල්‍ය වගකීම තමන් සතුව තිබෙන නිසාත් සියලූම රාජ්‍ය ඇමතිවරුන්ට බාධාවකින් තොරව තම වගකීම් ඉටුකල හැකියි.
අමාත්‍යාංශ වෙන්කිරීමේ දී රටේ බහුතර ජනතාවකට බලපාන කෘෂි, වැවිලි, ධීවර කර්මාන්ත මෙන්ම පාරම්පරික කර්මාන්ත හා ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් යොමු කලා.
“සතුටින් ජීවත් වන පවුලක්” යන සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වන අරමුණු ඉටුකරගැනීමේදී විවිධ සමාජ මට්ටම් වල ජීවත් වන ජන කොටස්වල නිවාස අවශ්‍යතාවන් ගැන විශේෂ අවධානයක් යොමු කළා. මේ සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශ 3 ක් පිහිටුවා තිබෙනවා.
ජනතාවගේ ජීවන මට්ටම ඉහල නැංවීම අරමුණු කොට නාගරික මෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයටත් විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා.
විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරට තුලම නිෂ්පාදනය අපි ආරම්භ කොට තිබෙනවා. ඖෂධ ආනයනය තුළ සිදුවන අතිමහත් දූෂණ ක්‍රියා තුරන් කිරීමට අපි කටයුතු කරනවා. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කලේ ඒ සඳහායි.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට ඵලදායී පුරවැසියන් බිහි කිරීම සඳහා අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනයට අදාල සියලුම රාජ්‍ය ආයතන අද අපි එක් අමාත්‍යාංශයක් යටතට ගෙනැවිත් තිබෙනවා.
නූතන ලෝකයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් හා කාර්ය සාධක බලකායන් දෙකක් අපි පිහිටුවා තිබෙනවා.
දේශීය වෛද්‍ය විද්‍යාව නගා සිටුවීමේ පියවරක් ලෙස ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට කටයුතු කර අවසන්.
උසස් අධ්‍යාපන ආයතන නොමැති දිස්ත්‍රික්ක 10 ක් තෝරාගෙන ඒවායේ නගරාශ්‍රිත විශ්වවිද්‍යාල පද්ධතියක් “CITY UNIVERSITIES” ගොඩනැගීමට සැලසුම් සකස් වෙමින් පවතිනවා.
දැනට හෙදියන්ට ලබා දෙන ඩිප්ලෝමා සහතිකය වෙනුවට උපාධියක් දක්වා ඉගන ගන්නට අවස්ථාව සැලසෙන පරිදි සියලුම හෙද පුහුණු පාසැල් එක් විශ්වවිද්‍යාලයක් යටතට ගන්නට සැලසුම් සූදානම් කොට අවසන්. මේ හරහා විදේශ රැකියා වෙළඳපොල සඳහා අපේ හෙදියන්ටත් දොරටු විවෘත වෙනවා ඇති.
අපේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමටත් ක්‍රීඩා ආර්ථිකයකට මග පෑදීමටත් ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමටත් රටේ ප්‍රදේශ කිහිපයකම එහි පීඨ පිහිටුවීමටත් කටයුතු සූදානම් වෙමින් පවතිනවා.
ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන සෑම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාව, පරිගණක තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයන් ලෙස ඉගැන්වීමටත් ඒ සඳහා අන්තර්ජාතිකව පිලිගන්නා සහතිකයක් ලබාදීමටත් අපි කටයුතු කරනවා.
මා පොරොන්දු වූ ආකාරයට උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයකට අවස්ථාව ලබාගැනීම සඳහා, විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවාට අමතරව විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත්, දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමටත් අවශ්‍ය කටයුතු ආරම්භ කොට තිබෙනවා. ලබන වසරේ විවෘත විශ්වවිද්‍යාල වලට තාක්ෂණික උපාධි සඳහා අළුතින් සිසුන් 10,000 බඳවා ගන්නටත් ඔවුන්ට පලමු වසරේ සිටම රැකියා කරන ගමන් අධ්‍යාපනය ලබාදීමටත් අපි සැලසුම් කොට තිබෙනවා.
විෂය මාලාවන් ප්‍රතිසංස්කරණය හරහා සියලුම උපාධි සමාජයට හා ආර්ථිකයට ඍජුව දායකත්වය ලබාදිය හැකි විෂයන් බවට තහවුරු කරන ලෙස අපි විශ්වවිද්‍යාල පද්ධතියට උපදෙස් ලබා දී තිබෙනවා. මෙහිදී තාක්ෂණික අධ්‍යාපනයට හා නවෝත්පාදන දිරි ගැන්වීමට විශේෂ අවධානයක් යොමුවෙනවා.
ජනතාවට සැබැවින්ම සේවය කිරීමට නම් නිරන්තරයෙන්ම ජනතාවට සවන් දීම අවශ්‍ය වෙනවා. මේ නිසා ඉඩ ලැබුන හැම අවස්ථාවකම මම ජනතාව අතරට යනවා. පසුගිය කාලයේ ලංකාවේ ප්‍රදේශ ගණනාවක අතිශයින් දුෂ්කර ගම්මානවල පවා සංචාරය කරමින් මම ජනතාවගේ ගැටලු වලට සවන් දුන්නා.
මේ අනුව සෑම දිස්ත්‍රික්කයකටම පොදු වූ ගැටලු මෙන්ම ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ගැටලු ගැන හොඳ අවබෝධයක් ලබා ගෙන ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු, තීරණ ගැනීමට මට අවස්ථාව ලැබුනා. මම උපදෙස් දී තිබෙන්නේ ජනතා බලාපොරොත්තු සපුරමින් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ටත් නිරන්තරයෙන් ජනතාව අතරට ගොස් , ඔවුන්ගේ සැබෑ ගැටලු වටහාගෙන ඒවාට විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසයි.
රටක ප්‍රගමනය සඳහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා නීති පොතට මුවාවී තම වගකීම් ඉටුකිරීම පැහැරහරින්නේ නැතුව ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවන් කඩිනමින් ඉටුකරදෙන ලෙස මම සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මා විටින් විට රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතන වලට යන්නේ මෙය නිසියාකාරව සිදුවනවාද යන්න සොයාබැලීමටයි. ඉදිරියටත් මා මෙය දිගටම කරන්නට බලාපොරොත්තු වෙනවා. අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රජයේ ඉහල නිලධාරීන්ද නිරන්තරයෙන්ම තම තමන්ගේ ආයතනවල කටයුතු සිදුවන ආකාරය අධික්ෂණය කල යුතුයි.
රාජ්‍ය පාලනය තුල නාස්තිය හා දූෂණය පිටුදකින බවට අපි ජනතාවට පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන තුල නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගත යුතු අතර මේවාට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇති වී තිබූ ව්‍යාකූල තත්වය 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉවත් කර ගැනීමට අපිට හැකිවුනත් විවාදාත්මක අංශ කිහිපයක් තවමත් ඉතුරුව තිබෙනවා. මේ නිසා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමටත් ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමටත් අපි මේ වන විටත් කමිටුවක් පත්කොට තිබෙනවා.
ජනතාව, මට හා අපේ රජයට විශාල බලයක් ලබා දුන්නේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය වෙනස් කොට රට සෞභාග්‍ය කරා ගෙනයාමටයි. ඒ බලාපොරොත්තු ඉටුකිරීමට මමත් මගේ රජයත් කැප වී සිටිනවා.
මගේ බලාපොරොත්තුව වන්නේ හිතවත්කම් වලට වඩා දක්ෂතාවයට සලකන, පුද්ගලික අවශ්‍යතාවන්ට වඩා පොදු අවශ්‍යතාවන්ට තැන දෙන, ණය වලට වඩා ආයෝජන දිරි ගන්වන, කතාවට වඩා ක්‍රියාවට ගරු කරන, පුහු ආටෝපයට වඩා සැබෑ ජනතා සේවය අගයන රාජ්‍ය පාලනයක් ඇතිකිරීමයි. දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මේ සඳහා වගකීමෙන් කටයුතු කල යුතුයි.
ලංකාව පමණක් නොව මුලු මහත් ලෝකයම ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයකට පැමිණ තිබෙනවා. අභියෝග රාශියක් අපි ඉදිරියේ තිබෙනවා. ඒ අභියෝග ජයගෙන, නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් තුල කටයුතු කරමින්, සැලසුම්ගත ආකාරයට රට ඉදිරියට ගෙනයාමේදී රටට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා.
අපේ රටට මහා උවදුරක්ව පැවති එල් ටී ටී ඊ ත්‍රස්තවාදය අපට පරාජය කරන්නට පුලුවන් වුනේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි. එදා අපේ රටේ බහුතරයක් එක් අරමුණක් වෙනුවෙන් කැපවුනා. කණ්ඩායම් හැඟීමෙන්, විනය ගරුකව අභියෝගයන්ට මුහුණ දුන්නා. අවසන් කල නොහැකියැයි බොහෝ දෙනෙකු කී යුද්ධය අපට ජයගන්නට පුලුවන් වුනා නම් අනාගතයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝගත් ජයගන්නට පුලුවන් විය යුතුයි. නමුත් ඒ සඳහා අප සියලු දෙනාටම පොදු වගකීමක් තිබෙන බව අප තේරුම් ගත යුතුයි. රටේ නිෂ්පාදනය ඉහල නැංවීමට, සේවාවන් කාර්යක්ෂම කිරීමට, දූෂණය පිටුදැකීමට, නාස්තිය අඩු කිරීමට සක්‍රීයව දායක වීම මේ අවස්ථාවේදී දේශපාලනඥයින් හා නිලධාරීන්ගේ පමණක් නොව ජනතාවගේද යුතුකම වෙනවා.
මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජන වලට බිය වන කෙනෙක් නොවේ. ප්‍රශ්න වලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ.
හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය පොරොන්දු වූ පරිදි මේ රටේ ජනතාවට සෞභාග්‍යය උදාකරදීමටයි. ඒ අරමුණ ඉටුකරගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව, අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබට වෙන්නේ නැහැ.
මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා.ඵලදායී පුරවැසියෙකු ලෙස, සාමූහික හැඟීමෙන්, විනය ගරුකව කටයුතු කරමින්, ඔබේත් මගේත් මව් බිම සෞභාග්‍යය කරා ගෙනයාමට දායක වන ලෙස මා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා.
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි
– ජනාධිපති මාධ්‍ය අංශය
Thursday, November 12, 2020
අග්‍රාමාත්‍යතුමා 2020 අය වැය යෝජනාව ඉදිරිපත් කරමින් කළ සම්පූර්ණ කතාව මෙසේය.
රටේ ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීම උදෙසා පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මගෙන් ඉවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 අය-වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද (12) දින පැවැසීය.
2020 වර්ෂය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වී ඇත්තේ අතුරු සම්මත ගිණුම් 4ක් තුළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, රට විශාල ණය උගුලක පැටලී, ණය සේවා පැහැරහරින රටක් වන බවට විපක්ෂය සහ ඔවුන්ට උපදෙස් දෙන දෙස් විදෙස් විශේෂඥයන් පුරෝකථනය කළ අදුරු චිත්‍රය වෙනුවට සිය රජය විදෙස් ණය ඇතුළු සියලු ණය ගෙවු බව අවධාරණය කළේය.
සියයට 6ක පමණ වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගත් රටේ ආර්ථික වර්ධනය 2015 සිට වර්ෂයෙන් වර්ෂය අඩුවන ප්‍රවණතාවයකට ලක්කර වසර 5ක් තුළ කලාපයේ අඩුම ආර්ථික වර්ධන වේගයවන, 2019 දි සියයට දෙකයි දශම තුනකට (2.3) පත්කිරීමට පසුගිය ආණ්ඩුව ක්‍රියා කිරීම කිසිසේත් සාධාරණීය කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවැසීය.
අතුරු සම්මත ගිණුම්වල ඇති සීමා හා හිමව තිබු දුර්වල අයවැය හා ආර්ථිකය තුළ වුවද කොවිඩ්-19 අර්බුධය කළමනාකරණයට රජය විශාල ප්‍රයත්නයක් දරා තිබෙන බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, රෝගීණ් හදුනාගැනීම, නිරෝධායනය, නියමු පරීක්ෂණ හා ආශ්‍රිත සුබ සාධනය වෙනුවෙන් රජය මේ වනවිට රුපියල් මිලියන 70000ක් වැය කර ඇති බව පෙන්වා දුන්නේය.
කොළඹට සීමා වු රෝහල් පහසුකම් වසරකට අඩු කාලයක් තුළ රටේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි රෝහල් 17ක් දක්වා වැඩි කිරීම, රෝගීන්ට විශේෂ ප්‍රතිකාර ඇදන් සංඛ්‍යාව 600කට ඉහළ දැමීමට කටයුතු කළ බව සදහන් කළ අග්‍රාමාත්‍යතුමා, PCR ධාරිතාවය දිනකට 7,500 – 10,000 දක්වා වැඩි කරමින් එම එක් පරීක්ෂණයකට වැය වන රුපියල් 6,000ක මුදල් ඇතුළත්ව දිනකට ඒ සදහා රුපියල් මිලියන 50 වැය කරන බව කියා සිටියේය.
මෙයට අමතරව 2021 අයවැය කතාව ඔස්සේ ලබන නොවැම්බර් 17 වැනිදා සෞභාග්‍ය යේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව රට හමුවේ තබන බවට අග්‍රාමාත්‍යතුමා විශ්වාසය පළ කළේය.
අග්‍රාමාත්‍යතුමා 2020 අය වැය යෝජනාව ඉදිරිපත් කරමින් කළ සම්පූර්ණ කතාව මෙසේය.
ගරු කතානායකතුමනි,
2020 සඳහා විසර්ජන පනත දෙවැනි වර කියවීම මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටකින්.
මෙම විසර්ජන පනත, මා මුදල් ඇමතිවරයෙක් වශයෙන් ඉදිරිපත් කරන 11 වන අවස්ථාව වුවත්, මේ වන තෙක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසර්ජන පනත් වලට වඩා මෙය වෙනස් මුහුණුවරක් ගන්නවා. ඒ මෙය අතුරු සම්මත ගිණුම් 4ක් අන්තර්ගත වන විසර්ජන පනතක් වීම හා ඒ ආශ්‍රීතව අප රජය රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම පිළිබඳ ගිණුම් වාර්තාවක් වීම නිසයි.
ගරු කතානායකතුමනි,
අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2019 නොවැම්බර් මස 16 වන දින පැවති ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69ක ජනතා කැමැත්තක් ලබාගෙන සියයට පනස් දෙකයි දශම දෙකයි පහක (52.25) බහුතර ජනවරමක් ලබා ගත්තා.
ඒ වන විට එවකට පැවති රජය 2020 වර්ෂය සඳහා විසර්ජන පනතක් ඉදිරිපත් කර තිබුණේ නැහැ. මැතිවරණයෙන් පසු එය ඉදිරිපත් කිරිමේ අපේක්ෂාවෙන් අතුරු සම්මත ගිණුමක් සම්මත කර තිබුණා. ජනාධිපතිවරණයෙන් පසු එම රජය ඉල්ලා අස්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් පැවති අප, පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂාවෙන් රජයක් පිහිටවනු ලැබූ අතර අනුමත කර තිබූ අතුරු සම්මත ගිණුමට අනුකූලව අයවැය කළමනාකරණය කළා.
2020 මාර්තු මස 02 වන දින මැතිවරණයකට දින නියම කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වගන්තියට අනුව අතුරු සම්මත ගිණුමක් මාර්තු – මැයි කාලය සඳහා අතිගරු ජනාධිපතිතුමා අනුමත කළා.
කොරෝනා වසංගත තත්ත්වය මුල් කරගෙන මැතිවරණ කොමිසම විසින් මැතිවරණය අගෝස්තු දක්වා කල් දැමීමත් සමඟ අතිගරු ජනාධිපතිතුමා ජුනි – අගෝස්තු කාලය සඳහා නැවත අතුරු සම්මත ගිණුමක් අනුමත කළා.
2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් අප ඡන්දදායකයින් සියයට පනස් නමයයි දශම බිංදුවයි නමයක (59.09) කැමැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 149 දෙනෙකුගෙන් සමන්විත අති බහුතර රජයක් පිහිටවූ අතර, ඔබතුමා මෙම උත්තරීතර සභාවේ කතානායකවරයා වශයෙන් තෝරා පත්කරගනු ලැබුවා.
අනුමත වී තිබූ අතුරු සම්මත ගිණුමේ කාලය තුළ 2020 සඳහා විසර්ජන පනතක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් 2020 අගෝස්තු මස මුදල් ඇමතිවරයා වශයෙන් සැප්තැම්බර් සිට මාස 4ක කාලයක් සඳහා මා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට මෙම ගරු සභාව අනුමැතිය දෙනු ලැබුවා. ඒ අනුව, 2020 වර්ෂය තුළම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වී ඇත්තේ අතුරු සම්මත ගිණුම් 4ක් තුළයි.
ගරු කතානායකතුමනි,
අතුරු සම්මත ගිණුමකින් අවකාශ ලැබෙන්නේ රාජ්‍ය සේවා පවත්වා ගැනීමටත්, අනුමත වී ඇති වියදම් සඳහා ප්‍රතිපාදන සැලසීමටත් පමණයි. එයින් රජයකට විශේෂයෙන් පැහැදිලි ජනතා වරමකින් වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් පත්වන නව රජයකට අළුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා සීමාවෙනවා.
ඒ නිසා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පත්වූ පොදු ජන පෙරමුණ රජයේ පළමු වසර මීට පෙර මැතිවරණ වලින් බලයට පත්වූ රජයන්ට වඩා වෙනස් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දුන් බව මා මේ ගරු සභාවට ප්‍රකාශ කිරීමට කැමතියි.
ගරු කතානායකතුමනි,
මේ වන විට ලෝකයේ සෑම රටක්ම පාහේ කොරෝනා වසංගත උවදුරෙන් විශාල පසුබෑමකට ලක් වී තිබෙන බව ජාත්‍යත්තර මූල්‍ය අරමුදල (IMF) මෑතකදී නිකුත් කර ඇති (World Economic Outlook 20th October 2020) පුරෝකථන මගින් පෙන්වා දෙනවා. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් සියල්ලම මේ පසුබෑම තුළ වාර්තා කරන්නේ සෘණ ආර්ථික වර්ධනයක්. අපේ කලාපයේ ප්‍රධාන ආර්ථිකය වන ඉන්දියාව සඳහා පුරෝකථනය කරන්නේ සියයට දහයයි දශම තුනක (10.3) ආර්ථික පසු බැසීමක්. ඉහළ වර්ධන වේගයක් පවත්වා ගෙන ලෝකයේ දෙවන ප්‍රබල ආර්ථිකය ලෙස ඉදිරියට ආ චීනය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන්නේ සියයට එකයි දශම නමයක (1.9) වර්ධන වේගයක්.
ලෝකයේ ප්‍රබල ආර්ථිකය වන ඇමරිකා එක්සත් ජනපදය සියයට හතරයි දශම තුනක (4.3) පසුබැසීමක් වාර්තා කරන අතර යුරෝපයේ ප්‍රබල රටවල් ඇතුළුව එම කලාපය සියයට අටයි දශම තුනක (8.3) පසුබෑමකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට හතරයි දශම හයක (4.6) ඍණ අගයක් ගනු ලබන බවද පෙන්වා දෙනවා.
යුරෝපය, ඇමරිකාව හා දකුණු ආසියාතික රටවල ඇති ආර්ථික කඩා වැටීමට අමතරව කොරෝනා වසංගතයෙන් ආසාධිත වූ හා මරණයට පත්වූ විශාල සංඛ්‍යාවෙන් මෙම වසංගතයේ බියකරු බව පෙන්වා දෙනවා පමණක් නොව එම රටවල සෞඛ්‍ය හා රාජ්‍ය සේවාවන්වල ප්‍රමාණවත් නොවන ධාරිතාවද පෙන්නුම් කෙරෙනවා. ඒ වගේම සෞඛ්‍ය හා සමාජ සුභසාධන අවශ්‍යතා, වෙළඳපළ ආර්ථිකය තුළ පමණක් ඉටු කර ගැනීමේ සීමාවන්ද පෙන්වා දෙනවා.
අපේ රට හා අපගේ රජයේ සුවිශේෂි තත්ත්වය වන්නේ නිදහස් සෞඛ්‍ය හා සමාජ සුභසාධනය මූලික ප්‍රතිපත්තිමය බැඳීමක් සේ පිළිගැනිමයි.
2020 මහ මැතිවරණයෙන් මේ රටේ අති බහුතර ජනතාව, විපක්ෂයේ අසුන් ගන්වා ඇති 2015-2019 රජය මෙන් නොව “සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අප රජය වෙළෙඳපළ සීමාවන්ද හඳුනාගෙන රාජ්‍ය අංශයේ පුළුල් කාර්යභාරය ඉටුකිරීමට කැපවූ රජයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. අනපේක්ෂිත දෙවන රැල්ලේ බලපෑමද සහිතව මරණ සංඛ්‍යාව වැඩි වුවත් අපට වඩා ඉදිරියෙන් ඇති බොහෝ රටවලට සාපේක්ෂව මරණ අනුපාතය සියයට බිංදුවයි දශම තුනක (0.3) තරම් අඩු මට්ටමක තබා ගනිමින් රෝග මර්දනය හා නිරෝධායන ක්‍රියාවලියේ අපට ඉදිරියෙන් සිටිමට හැකි වී තිබෙන්නේ ඒ නිසයි.
එයට ප්‍රධාන හේතුව අප රටේ සෑම පලාතක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය පද්ධතිය හා සෞඛ්‍ය සේවාව බව අප අමතක කළ යුතු නැහැ. මෙම දුෂ්කර කාලය තුළ සෞඛ්‍ය සේවය ශක්තිමත් කරමින් අප රටේ රාජ්‍ය සේවාවන්,ආරක්ෂක හමුදාව හා පොලීසිය ඉටු කරනු ලබන ප්‍රශංසනීය කාර්යභාරය තුළ එම සේවාවන්වල ජාතික අවශ්‍යතාවය මෙම උත්තරීතර සභාවේ පිළිගැනීමට ලක්විය යුතු යැයි මා විශ්වාස කරනවා.
රාජ්‍ය මූල්‍ය බලය පැවරී ඇති මෙම පාර්ලිමේන්තුව, මේ සේවාවන් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළ යුත්තේ මෙම පිළිගැනීම තුළ පමණක් නොව නිදහස් සෞඛ්‍ය සේවය මුළු දිවයින පුරා තව තවත් ශක්තිමත්ව පවත්වා ගත යුතුය යන ස්ථාවරයද මෙම ගරු සභාව එක හඩින් තහවුරු කරමිනුයි.
ගරු කතානායකතුමනි,
අතුරු සම්මත ගිණුම් වලින් ඇති සීමාවන් මෙන්ම අපට හිමිව ඇති දුර්වල අයවැය හා ආර්ථිකය තුළ වුවත් කොරෝනා වෛරසය කළමනාකරණයට විශාල ප්‍රයත්නයක් දරා තිබෙනවා. කෙසේ වුවත් රෝගීන් හඳුනාගැනීම, නිරෝධායනය නියමු පරීක්ෂණ හා ආශ්‍රිත සුභසාධන කටයුතු සඳහා මේ වන විට රජය වියදම් කර ඇති මුදල් ප්‍රමාණය දැනට රුපියල් මිලියන 70,000 පමණ වෙනවා.
රෝග නිවාරණ කටයුතු සඳහා කොළඹට පමණක් සීමා වී තිබූ රෝහල් ධාරිතාවය වසරකටත් අඩු කාලයකින් දිවයිනේ විවිධ ප්‍රදේශද ආවරණය වන පරිදි රෝහල් 17 දක්වා වැඩිකර තිබෙනවා. රෝගයට ගොදුරු වූවන් සඳහා විශේෂ ප්‍රතිකාර කිරීමේ ඇඳන් සංඛ්‍යාව 600ක් පමණ මට්ටමකට වැඩි කර තිබෙනවා.
රෝග පරීක්ෂා කිරීමේ PCR ධාරිතාවය දිනකට 7,500 – 10,000 ට වැඩි කර ගැනීමට හැකි වී තිබෙන අතර එම එක් පරීක්ෂණයකට වැය වන රුපියල් 6,000ක ප්‍රමාණය තුළ දිනක වියදම රුපියල් මිලියන 50 ඉක්මවා තිබෙනවා.
දින 14ක රෝග නිවාරණයට ලක් කරන පුද්ගලයින්ගේ ආහාර හා සුභසාධනයට ද විශාල මුදලක් රජය වැය කරනවා. ඒ අතරට මෙම COVID වසංගතය නිසා ආදායම් තත්ත්වය අඩු වීමේ බලපෑම් වලට ලක් වු පවුල් වලට රුපියල්. 5,000/-ක දීමනාවක්ද ලබා දෙනවා. මෙම වියදම්වලට අමතරව එම සේවාවන්වල යෙදෙන රාජ්‍ය සේවකයින්ගේ දීමනා හා අනෙකුත් වියදම් දැරීමටද රජයට සිදු වී තිබෙනවා.
එමෙන්ම, අප රටේ අපනයන, සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍ර වලට මේ වතාවරණය දැඩි අහිතකර බලපෑමක් ඇති කර තිබෙනවා. එමගින්, විදේශ විනියම ලබාදෙන රැකියා හා ජීවනෝපායන්ට, පෞද්ගලික ව්‍යාපාර හා රජයේ ආදායම්වලට මෙන්ම ජනතාවගේ ආගමික හා සමාජ ජීවිතවලට එල්ල කර ඇත්තේ දැඩි පීඩනයක්.
ගරු කතානායකතුමනි,
අපට හිමිව ඇති ආර්ථිකය හා මූල්‍ය තත්ත්වයද ඉතා බරපතලයි. ආදායම් වියදම් පරතරය තුළින් මෙම කතාවට ප්‍රවේශ වුනොත්, 2014 පැවති මගේ රජය ජාතික ආදායමෙන් සියයට පහයි දශම හතකට (5.7) අඩු කර තිබූ අයවැය හිඟය වෙනුවට අපට 2019 දී පැවරුවේ සියයට නමයයි දශම හයක (9.6) අයවැය පරතරයක්. එය 2005 වර්ෂයේ මා රජය භාර ගන්නා විට සියයට 7ක හිඟයටත් වඩා වැඩියි.
2015 වර්ෂය සඳහා මා 2014 දී ඉදිරිපත් කළ අයවැය දිසාව වුනේ 2020 වන විට අයවැය පරතරය සියයට 4 කට අඩු කරගන්නා ගමන් අපේ රට දුප්පත්කම නැති ඉහළ ආදායම් රටක් කිරීමයි. පසුගිය වසර වල අයවැය පරතරය පියවීමේදි දක්නට ලැබූ ප්‍රධාන ලක්ෂණයක් වී තිබුණේ රජය විසින් කර ඇති වියදම් සඳහා වසර ගණනාවක් තුළ සැපයුම්කරුවන් හා ප්‍රතිලාභීන්ට එම මුදල් නොගෙවා තිබීමයි. එම හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 243 වී තිබූ අතර විදේශ ණය වලින් කර තිබූ වියදම් අනුමත ප්‍රතිපාදන ඉක්මවා තිබීම නිසා ගිණුම් ගත නොකරන ලද ප්‍රමාණය රුපියල් බිලියන 212 මේ නිසා 2019 වර්ෂයේදී වාර්තා කර ඇති අයවැය හිඟය ද සැබෑ රාජ්‍ය මූල්‍ය තත්ත්වය වසන් කිරීමක් වෙනවා.
රජයේ ආදායම් වියදම් පරතරයෙන් සැඟවූ පොහොර සඳහා රුපියල් බිලියන විසි තුනයි දශම නමයක (23.9) හිඟ මුදල, ඖෂධ මිලදි ගැනීමේදී නොපියවා තිබූ රුපියල් බිලියන තිස් එකයි දශම හතරක් (31.4), ඉදිකිරීම් කර්මාන්තය සඳහා නොගෙවා තිබූ රුපියල් බිලියන 119ක්, වැඩිහිටි පොලී සහනාධාර රුපියල් බිලියන හතලිස් පහයි දශම අටක් (45.8) හා විවිධ අමාත්‍යාංශවල හා දෙපාර්තමේන්තුවල සේවා සැපයීම සඳහා නොගෙවා තිබූ රුපියල් බිලියන විසි දෙකයි දශම එකක් (22.1) ඇතුළත් වෙනවා. මෙය පසුගිය රජය රාජ්‍ය මූලය කළමනාකරණයේදී සිදුකළ ප්‍රධාන වගකීම් පැහැර හැරීමක් ලෙස මා දකිනවා. මුදල් නොගෙවීම නිසා ඉදිකිරීම්කරුවන්, පොහොර හා ඖෂධ සැපයුම්කරුවන්, පොලී සහන මත ජීවත්වන වැඩිහිටියන් මුහුණ දී තිබූ දුෂ්කරතා පසුගාමී ආර්ථිකයක් ඇති කිරීමට දායක වී තිබුණා.
ගරු කතානායකතුමනි,
2014 දී දළ දේශීය ජාතික ආදායමෙන් සියයට 70ක්ව පැවති රාජ්‍ය ණය 2019 වන විට සියයට 85 දක්වා වැඩි කර තිබුණේ එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් ණය කළමණාකරනය කිරීමට යැයි සාධාරණීය කළ හම්බන්තොට වරාය දීර්ඝ කාලීන බදු ක්‍රමයක් තුළ විකිණිමටත් අමතරවයි.
එම වරාය සඳහා වසරකට ගෙවීමට තිබූ ණය සේවා ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 90ක් වුවත් මුළු වරායම විකුණා ලබාගත් ඩොලර් මිලියන 1,200ක මුදලින් එම වරායට ගණු ලැබූ විදේශ ණය ප්‍රමාණය ගෙවා තිබුණේද නැහැ.
තවමත් මහා භාණ්ඩාගාරය විසින් චීන එක්සිම් බැංකුවට වාර්ෂිකව එම ණය ගෙවනවා. වරාය විකිණීමෙන් ලබාගත් මුදල යොදාගෙන තිබෙන්නේ එදිනෙදා අයවැය කටයුතු වලට පමණක් බව පෙනී යනවා.
2020 සිට වාර්ෂිකව ගෙවීමට ඇති විදේශ ණය සේවා ප්‍රමාණය ඩොලර් මිලියන 4,200ක් පමණ වෙනවා. විපක්ෂයේ සහ ඔවුන්ට උපදෙස් දෙන දේශීය හා විදේශීය විශේෂඥයින් පුරෝකථනය කළේ රට විශාල ණය උගුලකට පැටලී ණය සේවා පැහැරහරින රටක් වන බවයි.
එම පුරෝකථන වලින් පෙන්වූ අඳුරු චිත්‍රය වෙනුවට අපේ රජය 2020 සඳහා ගෙවීමට තිබූ විදේශ ණය ඇතුළු සියලු ණය ගෙවූ බව ද මේ ගරු සභාවට වාර්තා කරන්නේ ඉමහත් සතුටකිනි.
එය ඉටුකර ගැනීමට හැකිවුණේ අනවශ්‍ය ලෙස විදේශ ණය ගැනීම් අඩු කිරිම මෙන්ම ආනයන යම්තාක් දුරකට කළමනාකරණයට ගෙන ඇති උත්සාහය වගේම, ණය භීතිකාව හුදෙක් මේ රටේ සම්පත් විකිණීමට හා නව ලිබරල්වාදී ප්‍රතිපත්ති සාධාරණය කිරීමටත් ගත් උපාය මාර්ගයක් බව අප හොදින්ම වටහාගත් නිසයි.
වසර 5ක කාලය තුළ එකදු විදුලිබල ව්‍යාපෘතියක්, වැව් හා ජලාශ ඉදිකිරීමක්, ජල සම්පාදන ව්‍යාපෘතියක්, දුම්රිය මාර්ගයක්, අධිවේගී මාර්ගයක්, පාලමක්, නාගරික නිවාස ව්‍යාපෘතියක්, වරාය නගරය හෝ ආර්ථික කලාපයක්, ධීවර වරායක් වගේ ආයෝජනයකින් නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීමක් සිදු වී නැහැ. ගම් නගා සිටුවීමට සැලසුම් කළ ගම්පෙරලියෙන් බලසම්පන්න වූ ගමක් දැකගන්න නැහැ. දේශීය ගොවීන් නිපදවන තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස් අපනයන වෙළඳපළට යොමු කිරීම වෙනුවට ඒවා පිටරටින් ගෙන්වා ප්‍රතිඅපනයනයකට ප්‍රවේශ වීමෙන් වැවිලි ක්ෂේත්‍රයට ද අහිතකර බලපෑම් ඇති කළා.
ඉහළ මැදි ආදායම් රටක් වෙනුවට ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,000ක මට්ටමක එක තැන පල් වෙමින් පැවතුණා.
සියයට 6ක පමණ වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගත් රටේ ආර්ථික වර්ධනය 2015 සිට වර්ෂයෙන් වර්ෂය අඩුවන ප්‍රවණතාවයකට ලක්කර 2019 සියයට දෙකයි දශම තුනකට (2.3) අඩුවී තිබුණා. එය දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනයයි. කලාපයේ අඩුම ආර්ථික වර්ධනයකට අපේ රට පසුගිය වසර 5 තුළ පත්කිරීම කිසිසේත් සාධාරණීයකරණය කළ නොහැකියි. ජනගහනයෙන් සියයට 40කට ආසන්න පිරිසක් සෘජුව හා එයට ආසන්න පිරිසක් ජීවත්වන ග්‍රාමීය ආර්ථිකය ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය නිර්මාණය කළ ආනයන වෙළදාම විසින් බලහීන කර ඇති බව නොරහසක්.
අපනයනය වෙනුවට ආනයනය වැඩිවන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ ප්‍රතිවිපාකය වී ඇත්තේ ඩොලර් බිලියන 8ක පමණ වෙළඳ හිඟයක් තුළ හිරවීමයි. පසුගිය පස් අවුරුදු පාලන කාලය තුළ ගෙන ගිය අසාර්ථක ආර්ථික හා මූල්‍ය කළමනාකරණ වැඩපිළිවෙළ මෙන්ම සැබෑ නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට ආනයන මත රඳාපවතින වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ගත් උත්සාහය මෙම ඛේදනීය තත්ත්වයට හේතුව බව දැන් පිළිගත යුතුව තිබෙනවා.
ගරු කතානායකතුමනි,
2010 විදේශ රැකියා වලින් ඉපයූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4,000 වර්ෂ 2014 වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 7,000ට අප නංවා තිබුණා. එම ක්ෂේත්‍රයේ විදේශ ආදායම 2019 වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,700ක මට්ටමකට අඩු වී තිබුණා.
ජාතික ආරක්ෂාව හා බුද්ධි අංශ දුර්වලවීම තුළ හිස එසවූ පාස්කු ප්‍රහාරය නිසා දස වසරක් අඛණ්ඩව ප්‍රසාරණය වූ සංචාරක ක්ෂේත්‍රයද කඩා වැටීමට ඉඩ හැරියා. බදු ක්‍රමය සංකීර්ණවීම තුළ ජනතාව පිට අධික බදු බරක් පටවා තිබුණා පමණක් නොව ජාතික ව්‍යාපාර දුර්වල කරන බදු ක්‍රමයක්ද පැවතියා. ණය පොලී අනුපාතය සියයට 14 සිට සියයට17 වැනි ඉහළ අගයකට වැඩිවීමත් විනිමය අනුපාතය සීඝ්‍ර ලෙස කඩා වැටීමත්, තුළ ව්‍යාපාරික පරිසරය අවිනිශ්චිත වී තිබුණා. 2014 ජාතික ආදායමෙන් සියයට තිස්දෙකයි දශම තුනක් (32.3) වූ සමස්ථ ආයෝජනය 2019 වන විට සියයට විසිහතයි දශම හතරක් (27.4) දක්වා අඩු වී 483,000ක පමණ විරැකියාවකට රට පත්වීම අවසාන ප්‍රතිඵලය වීම තුළම අසාර්ථකත්වය මැනවින් පෙනුණා.
ගරු කතානායකතුමනි,
අභියෝග රැසක් මැද වුවත් 2020 වර්ෂය තුළ අප ඉටුකළ කාර්යභාරය ඉතා විශාලයි. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ වසර ගණනාවක් තුළ රැකියා විරහිතව සිටි උපාධිධාරින් 60,000කට අධික පිරිසකගේ රැකියා ප්‍රමාණය විසඳිමයි. එමෙන්ම අපේ රටේ දිළිඳුම පවුල් ලක්ෂයක් ඉලක්ක කරගෙන රැකියාදීමේ වැඩපිළිවෙළ යටතේද මේ වන විට 40,000කට ආසන්න පිරිසකට රැකියා ලබාදී තිබෙනවා. වසර නිමවීමට පෙර ලක්ෂයේ ඉලක්කය සම්පූර්ණ කිරීම අපේ අරමුණයි.
ගරු කතානායකතුමනි,
සියයට 17ක්ව පැවති වැට් (VAT) හා ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) සියයට 8කට අඩු කිරීම, රුපියල් මිලියන 25ක පිරිවැටුම (කලින් මසකට රුපියල් මිලියන 1කට) පහල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වැට් බද්දෙන් නිදහස් කිරීම, කෘෂිකර්ම, වැවිලි වගාවන්, පශු සම්පත්, ගොවිපල හා කටයුතු ආදායම් බද්දෙන් නිදහස් කිරීම, තොරතුරු තාක්ෂණ හා විදේශ රැකියා ඉපයීම් ආදායම් බදු වලින් නිදහස් කළා. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වාර්ෂික පොලී අනුපාත සියයට 15ක පමණ මට්ටමක සිට සියයට 5ක මට්ටමකට අඩුකිරීම නිසා රටේ ණය පොලී පීඩනය අඩු කිරීමට කටයුතු කලා පමණක් නොව විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබූ රජයේ හා පෞද්ගලික ව්‍යාපාර සඳහා බැංකු මගින් රුපියල් බිලියන 250ක පමණ ණය මුදල් සැපයනු ලැබුවා. අඛණ්ඩව කඩා වැටෙමින් තිබූ විදේශ විනිමය අනුපාතය රුපියල් 185/-ක මට්ටමක ස්ථාවරව පවත්වා ගැනීමටත් ඩොලර් මිලියන 4,200ක විදේශ ණය සේවාවන් 2020 වසර තුල ගෙවා ණය පැහැර හැරීම් ගනයට රට පත්වීමට ඉඩ නොදීමත් අප විසින් ඉටු කළා.
වී සඳහා කිලෝවකට රුපියල් 50/-ක අවම මිලක් ලබාදීමට සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා ආනයනය නතර කිරීම, වී, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග, අල සහ ළූණු නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා ආකර්ෂණීය සහතික මිලක් ඇති කිරීමට ආනයන බදු කළමනාකරණය කරණු ලැබුවා. මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ කිලෝමීටර 10,000ක ව්‍යාපෘති 3ක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මාර්ග බාධක ඉවත් කිරීම සඳහා ඉදිවන පාලම් ප්‍රමාණය 10,000ක් වන අතර පාලම් 5,000ක් පමණ අවසන් අදියරට පැමිණ තිබෙනවා.
සැමට ජලය සැපයුම යටතේ පානීය ජල සැපයුම නිවාස 429,000 ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක් ගමකට එක් නිවසක් වැඩසටහන යටතේ ආවරණය වන නිවාස 14,000ක් ඉදි කෙරෙමින් පවතින අතර නාගරික නිවාස 100,000ක් ඉලක්ක කරගත් නගර සංවර්ධන වැඩපිළිවෙළ තුළ ඉදිවන ප්‍රථම නිවාස 20,000ක නිවාස ව්‍යාපෘතින්ද ආරම්භ කර තිබෙනවා.
ගරු කතානායකතුමනි,
ඖෂධ, පොහොර හා ඉදිකිරීම්කරුවන්ට නොගෙවා තිබූ හිඟ මුදල්ද මේ අතුරු සම්මත ගිණුම මගින් ගෙවා දැමු අතර ඒවාට අවශ්‍ය ප්‍රතිපාදනද 2020 විසර්ජන පනතට ඇතුල් වෙනවා. රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වෙනුවට ඒවා ශක්තිමත් කිරීම අප රජයේ දැක්මක්. එම ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වෘත්තිමය අධ්‍යක්ෂ මණ්ඩල පත්කර ඇති අතර ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රාග්ධනය සැපයීම අවශ්‍ය වෙනවා.
ශ්‍රී ලංකා ගුවන් සේවය ජාතියේ ගුවන් සේවයයි. එය ශක්තිමත් කිරීමට 2013 සිට පස් අවුරුද්දක කාලයක් තුළ ඩොලර් මිලියන 500ක ප්‍රාග්ධනයක් යෙදීමේ වැඩපිළිවෙළ 2015 දී නතර කිරීමෙන් හා එය පෞද්ගලීකරණය කිරීමට ගත් උත්සාහයන් නිසා එය මූල්‍යමය වශයෙන් දුර්වල වී තිබෙනවා. ඒ සඳහා ප්‍රාග්ධනය මධ්‍යකාලීනව ඩොලර් මිලියන 500ක් යෙදවීමට බලාපොරොත්තු වන අතර 2020 වර්ෂයේදී ඩොලර් මිලියන 150ක් ලබා දීමට කටයුතු කරනවා. ඒ අතරම 2020 විසර්ජන කෙටුම්පතේ දක්වා ඇති වියදම් ශීර්ෂ කිහිපයක් සංශෝධනය කරන අතර ඒවා මම සභාගත කරනවා.
එම වියදම් සංශෝධන සමඟ 2020 විසර්ජන කෙටුම්පතේ සඳහන් ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 180කින් වැඩි කිරීමට යෝජනා කරනවා. 2020 සඳහා වන අයවැය සාරාංශය හා ණය ගැනීමේ සීමාව සඳහන් සටහනද මේ සමඟ සභාගත කරනවා. ඒ අතරම රාජ්‍ය මුල්‍ය කලමනාකරණ (වගකීම) පනතෙහි අඩංගු ඇපකර සීමාව සියයට 15 දක්වා සංශෝධනය කිරීමටත් යෝජනා කරනවා.
ගරු කතානායකතුමනි,
අප රජයේ අයවැය ප්‍රතිපත්තියේ අන්තර්ගතය වන්නේ පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මග වෙනස් කිරීමයි.අපේ රටේ ආර්ථික ස්වාධීනත්වය ඇති කිරීමට මෙම ගමන් මගෙන් ඉවත්වීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව තිබෙනවා.
දැනට පවත්නා සියයට 10කට ආසන්න ආදායම් වියදම් පරතරය 2025 වන විට සියයට 4කට අඩුකිරීම වගේම සමස්ත ණය සියයට 75කට ඉදිරි වසර 4 තුළ අඩු කිරීම අපගේ රජයේ මූල්‍ය වගකීමයි. අපනයන මෙන්ම අපටම නිපදවා ගත හැකි, ආනයනයන් අවම වන නිෂ්පාදන ආර්ථිකයක් ගැන විශ්වාසය තැබීම ජාතික ප්‍රමුඛතාවක් වී තිබෙනවා. ඇගළුම් හා තේ මත පමණක් රඳාපවතින අපනයන ආර්ථිකය විවිධාංගකරණය නොකර, අපනයනය මෙන් දෙගුණයක් ආනයනය කරමින්, දේශීය සම්පත් හා අමුද්‍රව්‍යයන්ට වටිනාකම් එකතු නොකරන වෙළඳ ආර්ථිකයක් තිරසාර සංවර්ධනයක් ඇති කරන්නේ නැහැ.
කෘෂි, ධීවර හා පශු සම්පත් වලින් ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකාර්මිකරණයක් හා ඒ වටා ගොඩනැගිය යුතු සේවාවන් මතු නොකර ආනයනය මත ගොඩනැගුන පරිභෝජනය හා කාර්මිකරණය තුළින් ජනතා අභිලාෂයන් ඉටුවන සංවර්ධනයක් ඇති වන්නේද නැහැ.
සෘණ ආර්ථිකය ධනාත්මක සියයට 6ක ඉහළ වර්ධන වේගයකට නංවා ගැනීම පමණක් නොව එයට සමගාමීව හා එහි ප්‍රතිපලයක් ලෙස දුප්පත්කම තුරන් කරගත යුතු වෙනවා. එය අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” බව මා මෙම සභාවට මතක් කර දෙනවා.
2020 නොවැම්බර් මස 17 වන දින, මා මෙම ගරුතර සභාවට ඉදිරිපත් කරනු ලබන 2021 අයවැය කතාව මගින් “සෞභාග්‍යයේ දැක්ම තුළින්” අපේ රටේ නවීන ආර්ථිකයක් ඇති කිරීමට යෝජනා ඉදිරිපත් කරනවා.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
Friday, January 8, 2016
බලය රටේ යහපතට භාවිතා කලේ නැතැයි ජනධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක්
2010 මහ මැතිවරණයෙන් ලැබුණු 2/3 බලය රටේ යහපතට භාවිතා කලේ නැතැයි ජනධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේය.
පැවති බලයෙන් එම ආණ්ඩුව කලේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා තව තවත් බලය වැඩ කර ගැනීම යයිද ජනාධිපතිවරයා පැවසීය.
පැවති ආණ්ඩුවට පහසුවෙන් කල හැකිව තිබූ දෙය තමන් විසින් දැන් හෝ ඉටු කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කලේය..
බණ්ඩාරනායක-චෙල්වනායගම්, ඩඞ්ලි-චෙල්වනායකම් ගිවිසුම් අනුව කටයුතු කරලේ නම් අද වන විට ප‍්‍රශ්ණය මෙතරම් දුර එන්නේ නැතැයිද කී ජනාධිපතිවරයා උතුරේ මෙන්ම දකුණේ අන්තවාදය ප‍්‍රතික්‍ෂෙප කරමින් සියළු ජනතාවගේ අනාගතය වෙනුවෙන් ඉටු කල යුතු යුතුකම් ඉටු කරන්නේ යයිද කියා සිටියේය.
නීතියට පටහැනිව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්
තම මන්ත‍්‍රී කණ්ඩායම නීතියට පටහැනිව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක‍්‍රියාදාමයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බවත් එමෙන්ම ඊනියා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ නියෝජනය නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
අද(08) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.
‘මේ ආණ්ඩුවට වසරක් පිරෙන අද දිනය ‘නංගි පෙන්වලා අක්කා දීග දුන් දිනය’ ලෙස හෝ ‘ජාතියට කොළේ වහලා ගහපු දිනය’ ලෙස හඳුන්වන්න පුළුවන්. එදා විතරක් නොවෙයි මේ අවුරුද්ද පුරා මේ ආණ්ඩුව කළේ ජනතාවට ‘කොළේ වහලා ගහපු එක’. ජනතාවට දුන්නු පොරොන්දු කිසිවක් ඉටු නොකළාට ඇතැම් බලවේගවලට දුන්නු පොරොන්දු විතරක් මේ අවුරුද්දේ ඉටු වුණා. එතෙක් සිදු කළ සංවර්ධන ව්‍යාපෘති නතර කරපු එක මේ අය හපන්කමක් ලෙස කළේ. ඒ අනුව උමා ඔය ව්‍යාපෘතිය, පෝට්සිටි ව්‍යාපෘතිය වගේම ආරක්‍ෂක හමුුදා මූලස්ථානය, මහනුවර දක්වා යන අධිවේගී මාර්ගය හදන එක නතර වුණා. ගමේ කුඩා සංවර්ධන ව්‍යාපෘතියේ සිට ඉහත කී මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සියල්ල නතර වූවා.
ඒ වගේම සමාජ සුබසාධනයේ බරපතළ කඩා වැටීමක් සිදුව තිබෙනවා. අද පිං පඩිය ලැබෙන්නේ නැහැ අහිංසක අම්මා, තාත්තාට. ‘සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය’ අනුගමනය කරමින් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ මහා පෙරළියක් කරනවා කිව්වා. ඒ සඳහා ඖෂධ පනතකුත් සම්මතකර ගත්තා. ඒක නැති වුණා කියලානේ ඉස්සර අඩා වැලපුණේ. ඒකෙන් ඖෂධ මිල වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. කල් ඉකුත් වූ බෙහෙත්වලින් රෝහල් පිරීම වැඩිවුණා මිස අඩු වුණේ නැහැ. පොලිස් කොමිසමක් පිහිටුවීමෙන් පොලීසිය ස්වාධීන වෙලා, නීතිය සහ සාමය හොඳින් රැකෙයි කිව්වා. නමුත් අද හිරුණිකා අත්අඩංගුවට ගන්න බැරි පොලීසියක් නිර්මාණය වෙලා ඇත්තේ. යුද්ධයට දායක වූ බුද්ධි අංශ නිලධාරීන්, ඊට නායකත්වය දුන් දේශපාලනඥයන් හා ආචාර්ය නාලක ගොඩහේවා වැනි විද්වතුන් දඩයම් කිරීම සඳහා වූ පොලිස් රාජ්‍යයක් අද නිර්මාණය වී තිබෙනවා. මේ ටික හැරෙන්නට වෙන කිසි දෙයක් මේ අවුරුද්ද තුළ සිදු වුයේ නැහැ.
අද රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ උවමනාව පරිදි පිහිටු වූ FCIDය මාධ්‍ය ආයතන තුළට පවා කඩා වදිනවා. CSN නාලිකාවට කඩා වැදී එහි ‘සර්වරය’ පවා පරීක්‍ෂා කොට තිබුණා. මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ සහෝදරයාගේ නාලිකාව වූ ඔභඛ එකට එහෙම පොලීසිය යැව්වේ නැහැ. නමුත් අද සම්පූර්ණ දේශපාලන දඩයමට අවශ්‍ය පොලිස් රාජ්‍යයක් නිර්මාණය වී ඇති නිසා එවැනි දේ වෙනවා.
ඒ අතරේ මේ අවුරුද්ද තුළ බෙදුම්වාදයට පණ දීලා තිබෙනවා. කොටි සංවිධානයේ නීති උපදේශකවරයා වූ සිවා පසුපතිට ව්‍යවස්ථා හැදීමේ කටයුතු සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලැබී තිබෙනවා. කොටි මුද්‍රාව සහිත ටී ෂර්ට් ඇඳගෙන නිදහසේ ඉන්න පුළුවන් තත්ත්වයක් උතුරේ ඇතිව තිබෙනවා. ‘යුද්ධය කරපු හමුදාව ලවා උතුරේ කාණු සුද්දකර ගන්න ඕනෙ’ කියලා කියන්න අද උතුරේ මහ ඇමති විග්නේෂ්වරන්ගේ කටට පණ ඇවිත් තිබෙනවා.
‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි ව්‍යවස්ථා සංශෝධනයක්’
මේ විදිහට අවුරුද්ද අවසන් කරන්න හදන්නේ කොහොමද? 2016 වසරේ පළමුවරට පාර්ලිමේන්තුව රැස් වන හෙට(09) දවසේ මේ අය ගෙනෙන්න හදන්නේ කුමක්ද? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට පටහැනි ව්‍යවස්ථා සංශෝධනයක්. ඒකේ කැත වහන්න, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, මනාප ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම වැනි දේවලූත් මේකට සැරසිලි විදිහට ඇතුළු කරලා තිබෙනවා. ඕනෑම ආණ්ඩුවකට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රැගෙන ආ හැකියි. නමුත් එය රැගෙන ආ යුත්තේ රටේ වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප‍්‍රතිපාදනවලට අනුකූලවයි.
ජනවාරි 08 වැනිදා ‘ආප්ප විප්ලවයට’ අදාළව මේ අය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයේ තිබෙනවා, ‘ජනමත විචාරණයකට භාජනය වන කිසිදු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට අපි අත නොතබන්නෙමු!’ කියලා. අද අමතක වුණාට පා.ච. රණවක මහත්තයලාට එදා ඔවුන් කීවා. ‘අපි තමයි එහෙම වගන්තියක් මැතිවරණ ප‍්‍රකාශනයට දැම්මේ. ඒකීයභාවයට සහ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදීමට අදාළව කිසිඳු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්න අපි දෙන්නේ නැහැ’ කියලා. ඒකීයභාවය, බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදීම ඇතුළු වගන්ති 12ක් තිබෙනවා, ‘එම වගන්ති වෙනස් කිරීමට නම් ජනමත විචාරණයකට යා යුත්තේය’ කියලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන. එම වගන්ති වෙනස් කරනවා නම් වෙන වෙනම ඒවා ජනමත විචාරණයකට යොමු කරන්න ඕනෙ කියලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. නමුත් ඊට පටහැනිව යමින් ශ්‍රේෂ්ඨාධිකරණයට නොගිහින්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් නොපිහිටුවමින් මේ වගන්ති සියල්ල වෙනස් කරන්න අද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවන්න හදනවා.
අපි දන්නවා, 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව හදන්න නම් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස පාර්ලිමේන්තවු පිටත රැස්ව වූ බව. එදා ශ‍්‍රී ලංකාව රැජිනගේ කිරීටයට සම්පූර්ණයෙන් ගැට ගහලා තිබුණේ. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් උවමනා වෙලා තිබුණා බි‍්‍රතාන්‍ය රැජිනගේ පාලනයත් එක්ක ගැටගැහිලා තිබුණු ‘පෙකනිවැල’ කපන්න. ඒ පෙකනිවැල කපන එක තමයි, 1972 ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීමෙන් සිදු කළේ. අද එහෙම ඵෙතිහාසික අවශ්‍යතාවක් තිබෙනවාද? අනෙක 1970දී බලයට එනකොට සමගි පෙරමුණු ආණ්ඩුව ඒ බව කීවා. ඔවුන් කීවා ‘අපි ව්‍යවස්ථා විප්ලවයක් මගින් බි‍්‍රතාන්‍ය යටත් විජිත රැහැනින් මේ රට මුදවා ගන්නවා’ කියලා. නමුත් මේ අය ජනාධිපතිවණයේදී හෝ මහ මැතිවරණයේදී එහෙම දෙයක් කීවේ නැහැ. කියපු එකම දේ තමයි, ‘ජනමත විචාරණයකට භාජනය වන ව්‍යවස්ථා වෙනසකට අපි යන්නේ නැහැ’ කියන එක. ඒ අනුව මේ අදහසට ජනවරමකුත් නැහැ. මේ අයට ජනවරම ලැබුණේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීමට පටහැනිව.
එහෙම නම් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සිදු කරන්න ඕනෙ කොහොමද? පළමුව කළ යුත්තේ පක්‍ෂවල නියෝජිතයන්ගෙන් හෝ මුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් හෝ සැදුම්ලත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීම. දැන් මේ සූදානම් වෙන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හදලා, වෙන වෙනම කමිටු හදලා ඒ කමිටුවලට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොවන අයත් දාලා සකසන ව්‍යවස්ථාවකට අවසානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත ගන්නද? ඒ ක‍්‍රියාදාමය වැරදියි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් ඒක නීත්‍යනුකූලව සිදු කරන්න. පළමුව ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවන්න. ඒ මගින් දළ කෙටුම්පතක් සකසන්න. අවසන් කෙටුම්පත කැබිනට් අනුමැතියෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නිර්දේශ අනුව එය පාර්ලිමේන්තුවට ගෙනෙන්න. ඒකයි කරන්න ඕනෙ ක‍්‍රමය.
‘ශ්‍රේෂ්ඨාධිකරණය මග හැරීම’
දැන් කරන්න හදන්නේ කුමක්ද? ශ්‍රේෂ්ඨාධිකරණය මග හරිනවා. ‘පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරනු ලැබේ!’ කියලා ව්‍යාජ, කරන්න බැරි දෙයක් පෙන්වනවා. අවසානයේ ජයම්පති වික‍්‍රමරත්න වැනි එන්.ජී. ඕ. සල්ලිවලට විකුණුනු අයට අවශ්‍ය විදිහට දැනටමත් සකසලා තියෙන ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තුවේ අත උස්සවා ගන්න හදනවා. ජයම්පති වික‍්‍රමරත්නලාගේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනමත විචාරණයකට දානවා කියන එකෙන්ම පෙනෙන්නේ කුමක්ද? එය රටේ පවතින වත්මන් මූලික නීතියට එකගද කියලා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් නොකරන බවයි. ඒ නිසා ඉතා පැහැදිලියි, මෙතැන සිදු වෙන්නේ නිසි ක‍්‍රියාපටිපාටියක් නොවෙයි කියලා. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ නිසි ක‍්‍රියාපටිපාටිය ඉවතට දමලා මෙතැනදී සිදු වන්නේ බටහිර බලවතුන්ගේ සහ කොටි ඩයස්පෝරාවේ උවමනාව පරිදි නව ව්‍යවස්ථාවක් සම්මතකර ගැනීම. ඒ බව ඊයේ(07) දිනය තුළ හොඳින්ම දැක ගැනීමට ලැබුණා.
ඊයේ(07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමක් තිබුණා. එයට ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහභාගී වුණා. ‘පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරන්න බැහැ. පාර්ලිමේන්තුව වෙන තැනක රැස් කරන්න බැහැ. වෙනම බාහිර පාර්ශ්ව සමග මේක කරන්න බැහැ. තේරීම් කාරක සභාවක් පත් කරලා එමගින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් හදන්න. එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනෙන්න’ කියලා එතැනදී දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පෙන්වා දීලා තිබෙනවා. අවසානයේ ඒක කථානායකතුමා සහ සභානායක කිරිඇල්ල මැතිතුමා පිළිඅරගෙන තිබුණා.
ඒ වගේම ඊයේ(07) සවස ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර මේ පිළිබඳව සාකච්ඡුාවක් පැවැත්වුණා. ඊට අපේ පක්‍ෂය නියෝජනය කරමින්, නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මැතිතුමා සහභාගී වුණා. ඒ සාකච්ඡාවේදී අගමැතිවරයා, උදේ පක්‍ෂ නායක රැස්වීමේදී සභානායක කිරිඇල්ල මහතා දැරූ ස්ථාවරයට සමාන ස්ථාවරයක් දරා තිබුණා.
ඒ වගේම ඊයේ(07) රාත‍්‍රී 8ට ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණා. එයට ද අප පක්‍ෂය වෙනුවෙන් වීරකුමාර දිසානායක මැතිතුමා සහභාගී වුණා. එතැනදී බොහොම පැහැදිලිව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමග සිටින කණ්ඩායමත් මේ ක‍්‍රමවේදයට විරුද්ධ බව ප‍්‍රකාශ කරලා තිබුණා. බලන්න මේ කරන්න හදන දේ ගැන ආණ්ඩුවේ පාර්ශ්ව අතරවත් එකගතාවක් නැහැනේ.
ඒ වගේම ඊයේ(07) රාත‍්‍රී 10ට තවත් පක්‍ෂ නායක රැස්වීමක් කථානායකතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහභාගී වී තිබුණා. මෙතැනට පැමිණි කිරිඇල්ල සභානායකවරයා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කිරීමේ ක‍්‍රමයටම මේ ව්‍යවස්ථා වෙනස සිදු කළ යුතු බව ප‍්‍රකාශ කර තිබුණා. ඔහුගේ උදේ ස්ථාවරය රාත‍්‍රී 10 වන විට වෙනස් වී තිබුණා. මේ නීතිවිරෝධී ක‍්‍රියාදාමය අකුරක්වත් වෙනස් නොකර ක‍්‍රියාත්මක කරන්න ඕනෙ කියන දැඩි ස්ථාවරයේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ඉදලා තිබුණා. ඊට සමාන ස්ථාවරයකට තමයි අවසානයේදී එක්සත් ජාතික පක්‍ෂයත් පැමිණ තිබුණේ. එතැනට රාත‍්‍රී 11ට පමණ පැමිණි රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ‘දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය තමයි අපේ ස්ථාවරය’ කියලා ඊට අනුමැතිය පළකරලා තිබුණා. නමුත් එහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සිටින පාර්ශ්වයත් ජවිපෙත් එම ක‍්‍රමවේදයට විරුද්ධ වෙලා තියෙනවා. ‘ආප්ප විප්ලවයට’ කරගහපු අයයි, ඒ ‘ආප්ප විප්ලවයෙන්’ පසුව ආණ්ඩුව ඇතුළට රිංගලා ඇමති කටු සූප්පු කරන අයයි, දැන් කියනවා, ‘මේ ක‍්‍රමවේදය වැරදියි. මේ ක‍්‍රමවේදය අනුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙනඑන්න බැහැ’ කියලා. දෙයියනේ අපි කියන දේ අහන්නේ නැතිනම් ‘ආප්ප විප්ලවයට’ කර ගහපු, දරදිය ඇදපු, කඬේ ගිය උදවියවත් කියන දේ අහන්න.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පස්දෙනා නිසැක ලෙසම මෙම ක‍්‍රියාදාමයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනවා. ඒ විතරක් නොවෙයි ඊනියා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ අපි නියෝජනය වන්නේ නැහැ.’’
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පද්ම උදයශාන්ත ගුණසේකර හා නිරෝෂන් පේ‍්‍රමරත්න යන මහත්වරු ද සහභාගී වූහ.
– අනුරුද්ධ බණ්ඩාර
Thursday, January 7, 2016
දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් 54
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් 54 දෙනකුට පත්වීම් ලිපි ප‍්‍රධානය කර තිබේ.
මෙම පත්වීම් ලිපි ප‍්‍රධානය කිරීම ඊයේ කොළඹදී සිදු විය.මෙසේ පත් කර ඇති වැඩි පිරිස මන්ත‍්‍රීවරුන් වෙයි.
මෙම සම සභාපතිවරුන්ට ඇමති වරප‍්‍රසාද ලබා දීමට සියමිතව ඇත.
මේ වන විට ඇමති, රාජ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමතිවරුන් 100කට අධික සංඛ්‍යාවක් වෙයි
Subscribe to:
Comments (Atom)